PDA

View Full Version : -----> බුලතේ රස දුටිමි තොලේ



sumane
02-09-2015, 03:16 PM
http://1.bp.blogspot.com/-0-iscOnmUd8/UgEyTKf_LCI/AAAAAAAAAdM/4WNdQ_58ax4/s1600/6-copy.jpg

සරුසාර බව කියා පෑමේ දී බත මෙන් ම බුලත ද අපට වැදගත් විය. සිංහල ගම බතින් මෙන් ම බුලතින් ද හැමදාමත් සරුසාර වූවකි. බත මෙන් ම බුලත ද සිරියාවන්තකම ගමට ගෙනාවේ ය. බත සහල උපදින කුඹුර මෙන් ම දලුලන බුලත් කොටුව ද අපේ ජන ජීවිතය හා එකසේ බැඳී පවතී.

බුලත අපේ ජන ජීවිතයේ මුද්‍රාව බඳු ය. අපි බත් රසය මෙන් ම බුලතේ කහට රසය ද එකසේ විඳි ජාතියකි. උපතේ සිට මරණය දක්වා වු කාල මානය ලෙස සැලකෙන ජීවිතය පුරා බුලත අපට මහර්ඝ වස්තුවක් විය. බුලතේ ඉතිහාසය කාවන්තිස්ස රජු දක්වා දිවෙන්නක් බව සහස්සවත්ථුප්පකරණ අනුව පෙනී යයි. කාවන්තිස්ස රජු කාලයේ දී භික්‍ෂූන්ට බුලත් ඇතුළුව දැහැත් පිළිගැන්වීම අනිවාර්ය කටයුත්තක්ව පැවති බවත් ඒ අනුව පැහැදිලි වෙයි. ගරුදෙගුරු වැඩිහිටි වෙදැදුරුන් හට මෙන් ම මහ සඟරුවනට ද බුහුමන දැක්වීමේ දී බුලත් අත පෙරටු කරගත් වස්තුවකි.

අපේ සදාචාරය සංස්කෘතිය කියාපාන බුලතේ අපූරු කතාවක් කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පබඳකින් මොනවට විවරණය කෙරෙයි. මෙම පබඳ, මනරම් තනුවකට අනුව තිලකසිරි ප්‍රනාන්දු සූරීහු ගැයුමෙන් මධුරත්වයට පත්කර තිබේ. මුළු ගීයම සංස්කෘතියක් පිළිබිඹු කරන දර්පන තලයක් බඳු ය.

ඈත පටන් එන ජාති සිරිත් අප දීපේ දනෝ රකිති
නාග ලොවින් ගෙන ආව බුලත් අත තාම රටේ පවතී
අප සිංහල ගෙදර දොරේ බත බුලතින් නිතර පිරේ
මරණ මඟුල් උත්සව ඇති තැන්වල පළමුව අතට ලැබේ

බුලතේ වරුණ දලුමුර උපත පුස්කොල පොතේ මේ අයුරින් සඳහන් වෙයි.

කොලත් මලුත් මිස ගෙඩි නැත මෙකපට
ද'ලුත් කොලත් මල් එකසරි කෑමට
මෙලක් භූමියේ පැලඋනි අ'ලු පිට
බුලත් කියා නම කිවුනා රජසිට

පෙනය කළ නාගයකුගේ ස්වරූපය පෙන්නුම් කරන බැවින් බුලත් වැල නාග ලෝකයේ උපත ලැබ මනුලොවට පැමිණි බවට ප්‍රවාද කතා ද අසන්නට ලැබේ. නාගවල්ලි, නාගලතා, නාලිය, නාගිනි, නාගපත්‍ර, සර්පලතා හා පණිවල්ලි යන නම් මෙම ප්‍රවාද කතාවට අනුව බුලතට ලැබුණා යයි සිතිය හැකි ය.

සිංහල ජනවහර ද බුලත නිසා පෙහොසත් වී ඇත. බුලත් මඩිස්සලේ මෙන් ම බුලත් කොක්කනේ ද හේනේ පැලට ගියත් දුර බැහැර ගමනක ගියත් නැතිවම බැරි දෙයක් විය. ඉනේ රඳවා ගන්නා බුලත් මඩිස්සලේ තුළ විටට අවශ්‍ය බුලත්, පුවක්, හුණු ආදිය මෙන් ම ගිරය ද ගැමියා නිතර රඳවා ගනී.

බුලත් හෙප්පුව මෙන් ම ඉලත්තට්ටුව ද ගම ගෙදර ඉස්තෝප්පුවේ මෙන් ම පිලේ ද ආගන්තුක සත්කාරය සඳහා නිතර පිළියෙළ වී තිබුණකි. ගෙට ගොඩ වන විට ම ඉලත්තට්ටුව හෝ පිත්තල බුලත් හෙප්පු පළමුව ළං කිරීම ගම්දොර ඇත්තන්ගේ සිරිතකි.

ශ්‍රී ලංකා ගම්වල නම් වහරට ද බුලත එක් වී ඇත. බුල්තකොහුපිටිය, බුලත්සිංහල, බුලත්ගම බුලතට සම්බන්ධ ගම් නම් කීපයකි.

බුලතා යෝධයා - සොරබොර වැව කළ බවක් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. සොරබොර වැවේ දිය වෙනතකට සරවන සොරොව්ව "බුලතා” ගේ විස්මකුරු සිප්ලතු හැකියාව කියා පාන්නකි.

ප්‍රස්තා පිරුළු හා උපමා කතා වශයෙන් ද බුලත හෙළ බස සරු කරයි.

"බුලත් විටට හුණු අඩු වුණා වාගෙ” යැයි ද "හුණු නැති බුලත් විට වාගේ” යැයි කීවේ ද බලවත් අඩුපාඩුවක් දැක්වීමට ය. බුලතින් පුවකින් අඩුවක් නෑ යන්න, ගහකොළ වත් පොහොසත් කමින් අඩුවක් නැතැයි කී සැටියි. බුලත් මල්ලට ( බුලත් පියියට) මිල මුදලින් අඩුපාඩු වෙනවා දැක්වීමට යෙදූ උපමාවකි.

බුලත් දෙන්නේ මංගල්‍යයකට ආරාධනා කිරීමේ දී ය. මඟුල් බුලත් දෙන්නේ මේ අනුව ය.

ගිලී මලේ බුලතින් හා පුවකින් සුලබ පෙදෙසකි. එබැවින් ගිලී මලේ හැමදෙනාගේ ම පාහේ දත් කහට සහිත යයි කියති. එසේ වුව ද ඒ අතරේ දත සුදු අයත් සිටින බවත් ජන වහරේ පැවසෙන්නේ "ගිලී මලෙත් ඇත දත සුද්දෝ” යනුවෙනි. මෙවන් පුද්ගලයෝ දුර්ලබයහ.

එහි අග මුල දෙක විසලූ
මැද කහට නමුදු රසලූ

බුලත් විටක් විකීමට පෙර සිංහල ගැමියා පුරුදු වී ඇත්තේ ගිරයෙන් ලියාගත් පුවක් ටිකක් මුවට දමා විකිණීමටයි.

තම රසයට අවැසි පරිදි කරුංගා පුවක්, මඩ පුවක් තෝරා ගැනීමට ගැමියා දනියි. කොළයට හුණු ගාන්නට පළමුව ගැමියා එහි නැට්ට අග කඩා ඉවත් කරයි. එයට හේතුවන්නේ බුලත් කොළය නාගයන් විසින් නාග ලොවේ සිට මෙලොවට ගෙනෙන ලද්දේ නැට්ට හා කොලේ අග කටේ තබාගෙන බැවින් එහි විස ඇතැයි යන පරණ විශ්වාසය නිසා ය.

පුවක්, කරඳමුංගු, ඉඟුරු පියලි, වැල්මී, හුණු, කස්තුරි ආදිය බුලත් විට සාර කර ගැනීමට යොදා ගන්නා දේවල් ය.බුලත් විට හේනේ පැලේ නිදවරණ ගැමියාගේ නිදිමත හා කම්මැලි කම නැති කරන්නකි. දිය හුණු පිරවූ කිල්ලෝටය මෙන් ම ගිරය ද ගැමියාගේ මඩිස්සලේ ගැවසෙන නැතුවම බැරි අම්පන්නයෝ ය. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු යන්නෙන් කියමනක් ද ජන වහරේ පවතී. ගතවන කාලය නිදවරණ ගැමියාට නොදැනෙන්නේ බුලත් විට නිසා ය. ඔහු කාලය මැන ගන්නේ ද බුලත් විටෙනි. "බුලත් දෙවිටක් කනකොට වැඩේ ඉවරකර ගන්න පුළුවන” යන ජන කියමන මේ අනුව මතුවූවකි. බුලත් විට හපන්නාට පඩික්කම අවැසි භාණ්ඩයකි.

බුලත් සඳහා සංස්කෘතියෙන් තාම්බූල යැයි ද, පාලියෙන් තම්බූල යැයි ද කියනු ලැබේ. පඬිවරයකු වන වාසලමුදලි ඩබ්ලිව්.ඇස්. ගුණවර්ධන මහතා පවසන්නේ සංස්කෘතියේ යෙදෙන තාම්බූල, පාලියට තම්බූල වී සිංහලයේ දී බුලත බවට පත්ව ඇත යන්නයි.

බුලත් හැපීම මුඛ සෞඛ්‍යයට හිතකර ඖෂධයක් බව ආයුර්වේද ග‍්‍රන්ථවල සඳහන් වෙයි. ආහාර රුචිය ද බුලතින් ඇති කරවන බව එහි දී පැහැදිලි කෙරෙයි.බුලත් විටේ ගුණය ඇත්තේ දුම්කොළ නැතිව ය. දුම්කොළ බුලත් විටට එක්වී ඇත්තේ ලන්දේසි යුගයෙන් පසුව ය. දුම්කොළ මෙරටට ගෙන්වන ලද්දේ ලන්දේසින් විසිනි.බුලත් කොළය ශුද්ධ වස්තුවක් ලෙස සැලකේ. බුලත් කොළ පැඟිරි කොළ නමින් ද හැඳින්වෙයි. පැඟිරි කොළයට සියලුම වස්දොස් - අපිරිසුදුකම් දුරලීමේ ශක්තියක් පවතී.

දෙවිදේවතාවුන් සඳහා යහන් තබන විට පළමුව බුලත් කොළ තබා ඒ මත දොලට දෙන දේ තබන සිරිතක් පවතින්නේ බුලතේ පාරිශුද්ධත්වය සලකා ය. මෙහිදී දලුමුර කවි කොල්මුර කවි ලෙස ද ගායනා කෙරේ.

කඩවර දෙවියන්ට තැබෙන ගොටුවේ පුවක් කෑල්ලක් සහ බුලත් කොළයක ඉරුවක් තැබීම වැව්බැඳි රාජ්ජේ සිරිතකි. බුලත් කොළය හරස් අතට ඉරීමක් හෝ කැපීමක් මෙහි දී සිදු නොකිරීමට වගබලා ගැනේ. අතින් එය උඩ අතට ඉරා ගැනීමක් සිදු කෙරෙයි. දෙවියන් කෙරේ භක්තිය හා විශ්වාසය රඳවන සිංහලයා දෙවියන් ගේ පිහිට පතා නොයෙක් පුද පූජා පවත්වති. "කංකාරිය” මේ පුද පූජා අතරින් එකකි. බුලත් යහන්මඩු කංකාරිය උඩරටට සීමාවූවකි. බුලත් හෙවත් දලුමුර බුලත් යහන මත තැබීම මෙහි දී සිදු කෙරෙයි. බුලත් හුරුල්ල ගෞරව දැක්වීමේ සංකේතයකි. "බුලත් පදය” උඩරට නැටුමේ අංගයකි. එය බුලත් අත අතින්ගෙන පානා රංගනයකි - බුලත් අත කොළ හතළිහකින් සමන්විත වූවකි.

වැදි ජනයා ද බුලත් කෑමට මහත් රුචියක් දක්වයි. අපේ නිවසට එදවස පැමිණි වැදිනායක තිසාහාමි ඇතුළු වැදි පිරිස එළිවෙන තුරු බුලත් විට හපන හැටි මම දැක ඇත්තෙමි. වැදි ජනවහරේ බුලත් කොළය හැඳින්වෙන්නේ "පැඟිරි කොළ පොජ්ජ” යනුවෙනි. වැද්දෝ පුවක් හඳුන්වන්නේ ගයිගැට තන නමිනි.

බුලත් පුවක් වෙළෙඳාම අනාදිමත් කාලයක සිට මෙරටේ සරුවට කෙරුණු වෙළෙඳාමකි. බුලත් පුවක් වෙළෙඳාම කෙරුණු බුලත් පොළවල් ගම් දනව්වල දක්නට ලැබෙන්නෙකි. බුලත් වගාව සරුවට කෙරුණු ප්‍රදේශවල මෙම පොළවල් ජයට පැවැත්වෙයි. කුලියාපිටිය පොළ සුපතළ බුලත් පොළකි. අලව්ව - රඹුක්කන නගරවල පවත්නා බුලත් පොළවල් නිසා ම බුලත් කෝච්චිය රාත්‍රී කාලයේ මෙම පෙදෙස් හරහා ධාවනය කෙරුණි.

හිස උත්තමාංගයකි. සිංහල අලුත් අවුරුද්දට හිසතෙල් ගාන විට බුලත් කොළයෙන් හිසතෙල් ගාන්නේ බුලත් කොළය ද උතුම් වස්තුවක් ලෙස සලකන නිසා ය.

සැ.‍යු. - මෙහි ඇති කරුණු පුවත්පතක පලවූ ලිපියකින් උපුටාගත්තක් වන අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේබෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි

janith nilanga
02-09-2015, 05:36 PM
හොද විස්තරයක් සහෝ

sameeramw
02-09-2015, 09:00 PM
සළකන්න බැරිලු මචන්.... හොද ලිපියක්

Imal619
02-09-2015, 09:57 PM
:thumbsup::thumbsup::thumbsup:

sumane
02-11-2015, 11:18 AM
හොද විස්තරයක් සහෝ


සළකන්න බැරිලු මචන්.... හොද ලිපියක්

http://i62.tinypic.com/347csvk.gif

TharakaMadushan
02-11-2015, 11:35 AM
සළකන්න බැරිලු මචන්.... හොද ලිපියක්

:yes::yes:

You must spread some Reputation around before giving it to sumane again.

Seeker
02-15-2015, 03:19 PM
:cool: