...........නානා සහ ජාතිවාදී ගින්න...........


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: ...........නානා සහ ජාතිවාදී ගින්න...........

  1. #1
    Senior Member thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10 is a jewel in the rough thushan10's Avatar
    Join Date
    Apr 2012
    Location
    කියන්නෙම නෑ
    Posts
    190
    Likes Received
    114 times

    ...........නානා සහ ජාතිවාදී ගින්න...........

    Mage nam newe kathawa danushaka ge athal kotiyai, shear kara witharai man

    ...........නානා සහ ජාතිවාදී ගින්න...........

    " සුදු පුතේ මදැයි දැං ඔය නිදාගත්තා.. වෙලාව හතත් පහු උනා... නැගිටලා ගිහිං හන්දියේ කොට්ටං ගහ යට කඩෙං ලෙමන් පෆ් එකක් අරං එන්නකෝ අර මැනිකේ ටීච එනවා කීවා සමිතියේ වැඩේ කතා කරගන්ඩ...."

    වෙනදා උදේට මූසලයා උලමා ආදී දයාබර ආමන්ත්‍රන වලින් මා අමතා විශ්ව විද්යාල සිසුන්ට ආවේනික ඉල්ලීම් කරන භාෂාවෙන් නැගිටපිය .. කඩේ පල දත් මැදපිය ලෙස මගෙන් ඉල්ලිම් කරන අම්මා අද පුතේ ...කඩේ ගිහිං එන්නකෝ.. කියා ඇමතීම මා විශ්මයට පත් කිරීමට සමත් දෙයක් විය..

    " යකෝ මේ නං අපේ අම්ම වෙන්න බෑ... තාත්තා අම්මව එලවලා කුඩම්මෙක් ගෙන්නල්ලා වත්ද.. "

    කියා ඇතිවූ සැකය නිසා ඉස්තෝප්පුවට හොට දැමූ මට දැක ගත හැකි වූයේ සමිතියේ වෙනත් සාමජිකයෙක් දැනටමත් නිවසට පැමින සිටීම අපේ අම්මාගේ මේ මදුර භාෂන රටා වෙනසට හේතු වී ඇති බවය... අම්මාගේ සමිති සාමාජිකයන් අපේ නිවසට අලුත් අය නොවේය...

    අපේ අම්මා හිතාගෙන ඉන්නේ අම්මලාගේ විශ්රාම සමිතිය එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය කියාලාය.. අම්මා එක්සත් ජාතීන්ගේ සංගමේ මහලේකම් වගේ සීන් එකකුත් වෙලාවකට පෙන්වයි.... ඒක තියන දිනේට කලින් කීප සැරයක් අතන මෙතන ගෙවල් වල සෙට් වී වියවස්තා සෑදීම නව සංසෝදන ඉදිරිපත් කිරීම ආදිය සිදු වුවද සමිතිය තියෙන දවසට වෙනදා වගේම ඔහේ පටන් අරන් ඔහේ ඉවර වේ...

    සමිතිය ගැන තතු මෙසේ වුවද එය මගේ කතාවට අදාල නොවේ.. අම්මාගේ වචනය අහවර වීමටත් පෙරම ඇයගෙන් සල්ලිත් ඉල්ලගෙන කඩයට යාමට පිටත් වීම මගේ අතින් සිදු වූයේ මා සතු වූ මාතෲ ගවුරවය නිසා නොව ඉතුරු සල්ලි වලින් ටිකක් ප්‍රවාහන ගාස්තුව ලෙස මාටියා ගසා ගැනීමට හැකි වන නිසාය...

    පයින්ම කොට්ටන් ගහ යට මොහොමඩ් නානාගේ කඩේට ගිය විට මා දුටුවේ හද කම්පා කරවන දසුනකි..

    නානාගේ කඩයට කවුද ගිනි තබා මුලු කඩයම දුමෙන් වැසී ඇත.... ජාතිවාදී ගින්නේ තවත් ගොදුරක් බවට නානාගේ කඩය පත් වී ඇත..

    උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරජා මල්ලියේ කිය කියා කතන්දර කීවාට අපේ මිනිසුන් සතු පටු චින්තනය කිසි දාක වෙනස් කල නොහැකි බව මට තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය..

    පාසැල් සමයේ සිටම දක්ශ බාලදක්ශයෙක් වූ මට මෙය කිසි සේත්ම විශාකා තොමෝ පැමිනි විලාසෙන් නිසංසලේ සිටීමට හැකි අවස්තාවක් නොවේ.. වටේ පිටේ මිනිසුන්ට අඬ ගසා ඔවුන් සමග එකතු වී ගින්න නිවුවහොත් ගින්න නිවීමේ පූර්න ගවුරවය මා හට නොලැබෙන බව මට වැටහී යාමට වැඩි වෙලාවක් ගත නොවීය... මට මෙම ගින්න නිවීම තනිව කල හැක්කක් නොවුනද

    " නෑ ධනුශ්ක උඹ මානව හිතවාදියෙක්... උඹට පුලුවන්.. තනියම ඔය ගින්න නිවපන්.. උඹේ අම්මා උඹට පොවපු කිරි වල නාමෙන් ඔය ගින්න නිවපන්.. නිවලා උඹේම මිනිස්සු අතින් විනාස වෙන්න යන අර අහින්සක නානාගේ ජීවිතේ බේරගනින්....

    මගේ යටි හිත එසේ කීමත් සමගම එම කර්තව්යය තනිව අතට ගත් මම විගසින් අසල වූ ලිඳට දිව ගියේ දුන්නෙන් මිදුන හීයක් වගේ කෙලින්ම ඔරික්ස් ලීසිං එකට යන ලැරී මුදලාලි වගේය ...

    එහෙත් අවාසනාවයි දුකයි මා ලැබු දේ එපමනයි කියා ජෝතිපාල මහත්තයා කියපු සින්දුව මටද ආදේශ කරගනිමින් ලිඳ ලඟදී වේගය පාලනය කරගන්නට නොහැකිව ලිං පඩිය උඩ ලිස්සා වැටීමේදී බේරීමට අතට අසු වූ දෙයක එල්ලීමට මට සිදු විය.. චේතනාව හොඳ වුවත් කරුමයක මහත ඊටත් වඩා මහත බව මොනවට පෙන්වා දෙමින් මා එල්ලී ඇත්තේ නිශ්චල වස්තුවක නොව අසල නාමින් සිටි කාන්තාවක ඇඳගෙන සිටි දිය රෙද්ද නැමති චංචල වස්තුවේ බව තේරුනේ දිය රෙද්ද කැඩී මගේ හිස මත පතිත වීමත් සමගය....
    දිය රෙද්ද හිසට වැටීමෙන් ඇස් වැසී ගිය නිසා මගේ හිස සිසාරා පතිත වූ බාල්දි පාරවල් වැදුනේ කොහෙන්ද කාගෙන්ද කියා නිච්චියක් මට නොවීය.. එහෙත්

    " වනචර බල්ලා... වල් කුපාඩියා "

    ආදී වචන හඬවල් අනුව එම ස්තානයේ කාන්තාවන් කීප දෙනක්ම සිටි බව මට අනුමාන කරගත හැකි විය..

    ඉටු කොට කලයුතු යුතුකම්..
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්...
    ඉවසන්නට පුලුවන්නම් ...
    නුඹයි මගේ පුතා උතුම්...

    යන උදාර කවිය ජීවිතේ තේමාව කරගත් මාහට එම අසෝබන නින්දා ගැරහුම් අසා මුවැත්තියක සේ වැලපෙන්නට ඉඩක් හෝ වේලාවක් නොවීය..
    දනි පනි ගා නැගිට ගත් මා හිසේ තිබු දිය රෙද්ද ඉවත් කර වීනස් දෙවුදුව මෙන් විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින් හිටගෙන සිටින කාන්තාවට එය දමා ගසා ඇයගේ අතේ වූ බාල්දියත් ගෙන වතුර එකක් පුරවාගෙන කඩයට දිව ගියේ මගේ ජීවිතේ පුදා හෝ නානාගේ කඩය සහ නානාගේ ජීවිතය බේරා ගැනීමේ ස්තීර අදිශ්ටානය පෙරදැරිවය..

    මා යන විටත් කඩය පෙර සේම දුමෙන් වැසී තිබුනි.. එහෙත් කිසිවෙක් නානාගේ උදවුවට පැමින නොසිටීම මිනිස් සමාජය කාර්මීකරනය වී සමාජ සංකීර්න වීමේ ප්‍රතිපලයක් ලෙස මිනිසත් කම මුදලට යට වීම යැයි කාල් මාක්ස් කියා ඇති බව සිහිපත් කරමින් නානාගේ කඩේ ඉදිරි පස දොර ලඟට ගොස් කඩේ පුරා විසිරී යන ලෙස දුම මැදින් වතුර බාල්දිය ගසා පසු නොබලා ආපසු ලිඳට දිව ගියේ තවත් වතුර බාල්දියක් ගෙන ඒමටය...

    මා නැවත ලිඳ වෙත එනු දැක නාමින් සිටි ගැහැනු නියරවල් දිගේ හිස් ලූ ලූ අත දිව ගියේ මා අතින් නිරුවත් වීමට ඔවුන්ගේ තිබූ අකමැත්ත නිසා වූ අතර කවදත් ගෑනුන් නාන ලිඳ අසල ලේඩීස් ෆස්ට් යන කියමන අකුරට පිලිපදිමින් ලිඳ අසලට වී දත් මදින මුවාවෙන් ගෑණුන් නාන දිහා බලා සිටින අයියලා කීප දෙනෙක් ඉතාමත් කෘතඥ පූර්වකව මා දෙස බලා සිනාසුන අතර එම සිනාවේ වූයේ.

    " මල්ලි නිසා තමා ඉතින් ඉස්සරලා අපට බෝනස් චාන්ස් එකක් වැදුනේ "
    යන අරුතය...

    කාන්තාවන් දිව ගියේ බාල්දි පවා අතහැර වූ අතර මම නිදහසේ තවත් බාල්දියකුත් රැගෙන පුරවා අත් දෙකට වතුර බාල්දි දෙකක් ගෙන නැවත ගිනි නිවන බටයෙකුගේ බූමිකාවට අවතීර්න වී කඩය දෙසට දිව ගියෙමි..
    මා යන විට කඩේ ඉදිරියේ දහ දෙනෙකුගෙන් පමන සමන්විත කන්ඩායමක් සිටි අතර නානා කෝපයෙන් මෙන් කුනුහරපෙන් බැනවදිමින් සිටියේය..

    " ඕකාව මට අවු උනොත් මරනවා මම... වල් බල්ලා.."

    කියමින් නානා බැන වදින අතර මා සිතුවේ කඩේ ගිනි තියපු එකාට නානා බැන වදිනවා කියාය.. කට්ටිය කඩේට ගිනිතියපු එකාට බනිනවා මිසක් මේ එකෙක් වත් නැති වෙලාවේ මම කඩේ ගින්න නිවපු එක ගැන කවුරුත් කතා නොකිරීම ගැන මට ඇති වූයේ තද කෝපයකි... හරිනම් මේ වෙනකොට කඩේ ගින්න නිවූ වීරයා ලෙස මා නම් කොට විවුර්ත රතයක නංවා මල් මාලයක් දමා ටවුම මැද්දෙන් එක්ක යායුතුය.. ඉවසීමේ සීමාව ඉක්මවු මම වතුර බාල්දිය මුනින් නවා ඒ මතට ගොඩ වී මිනිසුන් ඇමතීම ඇරඹුව්මි

    " තමුන්නාසේලා මේ කඩේ ගිනි තිබ්බ එකා අහු උනොත් ඌට කරන වැඩ කතා වෙනවා.. මේ මනුස්සයෙගේ කඩේ ගිනි අරන් තිබුන වෙලාවේ ඔය එකෙක් වත් ආවද ගින්න නිවන්න.. තමුන්ලා මර නින්දේ පසු වුනා.. මේකද අපේ මනුස්ස කම.. මේකද අපේ සබ්යත්වය.. මේකද අපේ සිංහල කම.. කතා කරපල්ලා.. මේ මිනිහා මුස්ලිම් උන නිසාද උඹලා උදවුවට ආවේ නැත්තේ.. යකෝ අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ සිංහල ලේ.. මෙහෙම බෙදුනොත් අපිට යන කල මොකක්ද.. විශේෂයෙන් මේ මනුස්සයා අමාරුවේ වැටිලා තමන්ගේ කඩේ ගිණි අරන් හිටපු වෙලාවේ උඹලා එකෙක් ආවද ගින්න නිවන්න.. මේ කඩේ ගිනි අරන් දුමෙන් වැහිලා තිබුන එක තොපිට නොපෙනෙන්න තොපේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලා තිබුනද... මේ අහින්සක මුස්ලිම් මිනිහගේ මර ලතෝනිය උඹලට මියුරු ගීතයක් වෙනකන්ද උඹලා බලන් හිටියේ.. බොලවු මේ ඇවිලුනේ නිකන් ගින්නක් නෙවේ ජාතිවාදේ ගින්න.. මේ ගින්න උඹලා අපි හැමෝවම දවලා හලු කරන දිනය අත ලඟයි.. උඹලා දැනගනිල්ලා යකෝ මම මේ කඩේ දුම් රොටු නගමින් ගිනි අවිලෙනවා දැකලා මගේ සියලු වැඩ අතරමග නවතලා ලිඳට දුවලා වතුර ගෙනත් කඩේට ගැහුවා... ගහලා ඒ ගින්න නිමුවා... මම වතුර ගහලා ඒ දේ නොකලා නම් හෙට වෙනකොට උඹලාගෙත් මගෙත් නම් කලු පැල්ලමක් විදිහට ඉතිහාසෙට එකතු වෙනව අහිංසක මුසල්මානුවෙක්ව විනාස කරපු පාදඩයෝ හැටියට... "

    කට දෙකොනෙන් පෙන දාගෙන ඉතා උද්වේගකර කතාවක් කිරීමෙන් අනතුරුව මගේ වටා සිටි සෙනග දෙස මා බැලුවේ අභිමානය මුසු වූ හැඟීමකිනි... ඒ සමගම නානා සෙනග පීරාගෙන මා ලඟට ආ අතර දැන් දැන් නානා මා වැලඳගනු ඇත කියා මා සිතද්දී නානා වෙවුලමින් මා ඇමතුවේය....

    " මල්ලිද මල්ලි වතුර ගැහුවේ එතකොට"

    " නැත්තං .. මම නෙවේනං වෙන මොකාද ..මං එනකොට කඩේ දුමෙන් පිරිලා දොරනුත් එලියට දුම එනවා.. මට මග ඇරලා යන්ඩ හිත දුන්නේ නෑ නානා... උඹ මුස්ලිම් මම සිංහල... අපි හැමෝම මිනිස්සු.. මේ ධනුෂ්ක දන්න දහම ඒක නිසා ලිඳෙන් වතුර ගෙනත් ගින්න නිමුවේ ... නානා හිතන්ඩ එපා නානා තනි වෙලා කියලා.. මේ ලෝකේ තවමත් මනුස්ස කම ඉතුරු උන හදවත් ගැහෙන අපි වගේ මිනිස්සු ඉන්නවා නානා..."

    නානාගේ බැල්මේ ඇත්තේ ස්තූති පූර්වක බවක් යැයි මට හැඟී ගිය අතර මා බලාපොරොතු වූයේ නානා ඇස් දෙකේ කඳුලු පුරවාගෙන මගේ අත් දෙක සිප ගනීවි කියාය..

    " ගොන් මී අරකෝ.. තෝ වතුර ගාපිය තොගේ ආච්චිට... මගේ කඩේ ගිනි ගත්ත ලබ්බක් නේ... මං ශාම්බ්‍රානි දුං අල්ල අල්ල යින්නකොට තමයි තෝ ඇවිත් මගේ කඩේට වතුර බාල්දියක් ගාල ගියේ.. තෝ ගින්නක දුමයි ශාම්බ්‍රානි දුමයි දන්නේ නෙති එකට මන් පලිද.... බලපන් මූශලයා දෙන් මේ කරවල ශීනි ආල් පරිප්පු ඇම එකේම වතුර.. අයියෝ අප්පා ශා ගානවා මේවට "

    ධනුෂ්ක කාංචන ජයවීර...

  2. #2
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times
    පට්ට...

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts